පකිස්තාන ශ්‍රී ලංකා තරුණ හුවමාරු වැඩසටහන

ජාතික තරුණ සේවා සභාවේ, ජාත්‍යන්තර තරුණ සම්බන්ධතා අංශය මගින් ක්‍රියාත්මක කරන පකිස්තාන ශ්‍රී ලංකා තරුණ හුවමාරු වැඩසටහනට අදාලව 2015.09.05 දින පකිස්තානයේ මොඩර්නේට් පබ්ලික් ස්කූල් ඇන්ඩ් කොලේජ්හි තරුණ නියෝජිතයින් 15 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ අතර එම කණ්ඩායම 2015.09.12 දින ආපසු පකිස්තානය බලා යෑමට නියමිතව ඇත. මෙම කණ්ඩායම හා මෙම වැඩසටහන සඳහා පකිස්තානයට යැවීම සඳහා තෝරාගෙන ඇති ශ්‍රී ලංකා තරුණ නියෝජිතයින් 15 දෙනා ද සමඟ දින 07 ක වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරිමට කටයුතු යොදා ඇති අතර, ඊට සමගාමීව 2015.09.09 දින පෙ.ව.10.00 ට දෙපාර්ශවයේ නියෝජිතයින් සමඟ සුහද සාකච්ජාවක් තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.ඒ.එස්.කීරගල මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පවත්වන ලදි. මේ සඳහා තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ හා ජාතික තරුණ සේවා සභාවේ නිළධාරි මහත්ම මහත්මීන් ද සහභාගී වන ලදි.

කායික හා මානසික සමබරතාවයෙන් යුතු නිරෝගී තරුණ පරපුරක් දැයට දායාද කිරීමේ ක්‍රීඩා පුහුණු උපදේශක වැඩමුළුව

කායික හා මානසික සමබරතාවයෙන් යුතු නිරෝගී තරුණ පරපුරක් දැයට දායාද කිරීම යන තේමාව යටතේ තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යටතේ දිවයින පුරා ව්‍යාප්තව ඇති ජාතික තරුණ සේවා සභාව සහ යොවුන් සේනාංක යන පුහුණු මධ්‍යස්ථානවල සිටින වෘත්තීය පුහුණු උපදේශකවරු 50 දෙනෙකු සඳහා 2015.09.01 දින සිට 2015.09.04 දක්වා කොළඹ ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ දී සිවුදින නේවාසික ක්‍රීඩා පුහුණු උපදේශක වැඩමුළුවක් පවත්වන ලදී.

වර්තමාන සමාජය තුළ තරුණයා බොහෝ සෙයින් ක්‍රීඩාවෙන් ඈත්වීම සමාජ අර්බුධයකට හේතු වී ඇති බැවින් එම බාධක දුරලා සමබර පෝෂණයෙන් හෙබි විශිෂ්ට පුරවැසියන් පිරිසක් බිහි කිරීමේ අරමුණෙන් ක්‍රීඩා අමාත්‍යාංශය හා එක්ව මෙම වැඩසටහන් මාලාව පවත්වනු ලැබේ.

ඒ අනුව තරුණ කටයුතු රාජ්‍ය අමත්‍යාංශය යටතේ ඇති පුහුණු මධ්‍යස්ථානවල උපදේශකවරුන්ට ක්‍රීඩා අමාත්‍යාංශය මගින් විශේෂ පුහුණුවක් ලබා දෙමින් ඔවනු හරහා එම දැනුම සමාජගත කිරීම මෙහි අරමුණයි.

එසේ පසුගිය දින ආරම්භ කරනු ලැබූ ක්‍රීඩා පුහුණු උපදේශක වැඩමුළුවෙහි සමාරම්භක උත්සවය ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අයි.එම්.අයි.රෆීක් මහතා, තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) සුමනපාල කීරගල මහතා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතාගේ සහ ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂ සජිත් ජයලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

මෙම ක්‍රීඩා පුහුණු උපදේශක වැඩසටහන සාර්ථකව නිමකරමින් 2015.09.04 වන දින එහි සහතිකපත් ප්‍රදානෝත්සවය පැවති අතර මෙම වැඩසටහනෙහි සාර්ථකත්වය හේතුකොට ගෙන තව දුරටත් මෙම වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස ඔවුන් යෝජනා කරන ලදී.

 

ජාත්‍යන්තර තරුණ දිනය 2015

ජාත්‍යන්තර තරුණ දිනයක් පිළිබඳ යෝජනාව ප්‍රථමවරට ඉදිරිපත් කෙරුණේ 1991 වසරේදී ය. ඕස්ට්‍රියාවේ වියනා නුවර පැවති තරුණ සමුළුවකදී ඒ සඳහා සහභාගී වූ තරුණ තරුණියන් විසින් ජාත්‍යන්තර තරුණ දිනයක් ප්‍රකාශයට පත්කිරීම අවශ්‍ය බවට යෝජනා කරන ලදි. ඉන් අනතුරුව 1998 වසරේදී පෘතුගාලයේ ලිස්බන් නුවර පැවති ලෝක තරුණ අමාත්‍යවරුන්ගේ සම්මේලනයේදී ලෝක තරුණ දිනය වශයෙන් අගෝස්තු 12 දින නම් කිරීම සුදුසු බවට නිර්දේශ කරන ලදි. ඒ අනුව 1999 වසරේදී පැවති එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේදී අගෝස්තු 12 ජාත්‍යන්තර තරුණ දිනය ලෙස සම්මත විය.

ඉන් අනතුරුව, සෑම වර්ෂයකදීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශ කරන ලබන තේමාවන් යටතේ සාමාජික රටවල් විසින් තරුණ ප්‍රජාව ඉලක්ක කොට ඔවුන්ගේ සහභාගිත්වය ද සහිතව විවිධ වැඩසටහන් සංවිධානය කරමින් ජාත්‍යන්තර තරුණ දිනය සැමරිම සිදුකරනු ලබයි.

2015 වර්ෂයේ ජාත්‍යන්තර තරුණ දින තේමාව වූයේ “ප්‍රජා මූලික තරුණ කර්තව්‍යයන්” (Youth Civic Engagement) යන්නයි. ඒ අනුව තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයින්ගේ ද සහයෝගයෙන් යුතුව උක්ත තේමාව යටතේ අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරයේදී ජාත්‍යන්තර තරුණ දින සැමරුම් වැඩසටහනක් පවත්වන ලදි. තරුණ කටයුතු හා සම්බන්ධ තරුණ විද්වත් කමිටුවක සහභාගීත්වයෙන් සාකච්ඡාමය ස්වරුපයෙන් එම වැඩසටහන පැවැත්විණ. පහත සඳහන් මාතෘකා 5 යටතේ එහිදි කරුණ සාකච්ඡා කෙරිණි.

a) තාරුණ්‍යය සහ පුමිතිරිභාවය (Youth and Gender)
b) තාරුණ්‍යය සතු කම්කරු අයිතීන් (Youth Labour Rights)
c) අවදානම්සහගත තරුණ කොටස් සමෝදායනය (Reintegration of Vulnerable)
d) දේශපාලනය තුළ තරුණ සහභාගීත්වය ( Youth Political Participation)
e) තරුණ ප්‍රජාව හා ස්වෙච්ඡාසේවය (Youth Volunteerism)

තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිලන්ති සුගතදාස මහත්මියගේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත සුබිනේ නැන්ඩි මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව වැඩසටහන පැවැත්විණි. රාජ්‍ය නිලධාරින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අනුබද්ධිත ආයතනවල ප්‍රධානීන්, තරුණ කටයුතු හා සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින්ද ඇතුළුව විවිධ තරුණ සංවිධාන නියෝජනය කරමින් තරුණ තරුණියන් 150 දෙනෙකු පමණ මෙම අවස්ථාවට සහභාගි වූහ.

නිලන්ති සුගතදාස මහත්මිය හා සුබිනේ නැන්ඩි මහතා විසින් පිළිගැනීමේ දේශන පැවැත්වූ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා විසින් 2015 ජාත්‍යන්තර තරුණ දිනය නිමිත්තෙන් නිකුත් කළ විශේෂ පණිවිඩය ද එම අවස්ථාවේදී රැස්ව සිටි පිරිස වෙත ඉදිරිපත් කරන ලදි. 2015 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ තරුණ නියෝජිත වැඩසටහන සඳහා ශ්‍රී ලංකා තරුණ නියෝජිතයින් ලෙස තේරී පත්වී ඇති නෞශල්‍යා රාජපක්ෂ මෙනවිය හා තිලිණ පණ්ඩුවාවල මහතා විසින් සාකච්ඡාවේ කටයුතු මෙහෙයවීම සිදු කළ අතර ජාතික තරුණ සේවා සභාවේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ආදිල් බාකිර් මාකර් මහතා විසින් ස්තූති කතාව සිදු කරන ලදි.

 

එක්සත් ජාතින්ගේ තරුණ නියෝජිත වැඩසටහන 2015

එක්සත් ජාතින්ගේ තරුණ නියෝජිත වැඩසටහනට තෝරා ගැනිම සඳහා 2015.07.27 සහ 28 යන දෙදින තුළ අදියර දෙකකින් පවත්වන ලද අවසන් සම්මුඛ පරික්ෂණයේදී ලබාගත් ලකුණු පදනම් කරගෙන, තරුණ නියෝජිතයින් දෙදෙනා ලෙස, තිළිණ පණ්ඩුවාවල මහතා සහ නෞශල්‍යා රාජපක්ෂ මෙනවිය, 2015 / 2016 එක්සත් ජාතින්ගේ තරුණ නියෝජිත වැඩසටහන සඳහා තෝරා ගන්නා ලදි.

ඔවුන් හට පත්වීම් ලිපි ප්‍රදානය අමාත්‍යාංශ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් 2015.08.11 වන දින පෙ.ව. 10.25 ට තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් කාර්යාලයේදී සිදු කරන ලදි.

කතුහිමිකම © 2017 යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය Pooranee Inspirations

971794
යාවත්කාලින කලේ: 14-09-2015 07:16