ජාත්‍යන්තර තරුණ දිනය 2015

ජාත්‍යන්තර තරුණ දිනයක් පිළිබඳ යෝජනාව ප්‍රථමවරට ඉදිරිපත් කෙරුණේ 1991 වසරේදී ය. ඕස්ට්‍රියාවේ වියනා නුවර පැවති තරුණ සමුළුවකදී ඒ සඳහා සහභාගී වූ තරුණ තරුණියන් විසින් ජාත්‍යන්තර තරුණ දිනයක් ප්‍රකාශයට පත්කිරීම අවශ්‍ය බවට යෝජනා කරන ලදි. ඉන් අනතුරුව 1998 වසරේදී පෘතුගාලයේ ලිස්බන් නුවර පැවති ලෝක තරුණ අමාත්‍යවරුන්ගේ සම්මේලනයේදී ලෝක තරුණ දිනය වශයෙන් අගෝස්තු 12 දින නම් කිරීම සුදුසු බවට නිර්දේශ කරන ලදි. ඒ අනුව 1999 වසරේදී පැවති එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේදී අගෝස්තු 12 ජාත්‍යන්තර තරුණ දිනය ලෙස සම්මත විය.

ඉන් අනතුරුව, සෑම වර්ෂයකදීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශ කරන ලබන තේමාවන් යටතේ සාමාජික රටවල් විසින් තරුණ ප්‍රජාව ඉලක්ක කොට ඔවුන්ගේ සහභාගිත්වය ද සහිතව විවිධ වැඩසටහන් සංවිධානය කරමින් ජාත්‍යන්තර තරුණ දිනය සැමරිම සිදුකරනු ලබයි.

2015 වර්ෂයේ ජාත්‍යන්තර තරුණ දින තේමාව වූයේ “ප්‍රජා මූලික තරුණ කර්තව්‍යයන්” (Youth Civic Engagement) යන්නයි. ඒ අනුව තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයින්ගේ ද සහයෝගයෙන් යුතුව උක්ත තේමාව යටතේ අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරයේදී ජාත්‍යන්තර තරුණ දින සැමරුම් වැඩසටහනක් පවත්වන ලදි. තරුණ කටයුතු හා සම්බන්ධ තරුණ විද්වත් කමිටුවක සහභාගීත්වයෙන් සාකච්ඡාමය ස්වරුපයෙන් එම වැඩසටහන පැවැත්විණ. පහත සඳහන් මාතෘකා 5 යටතේ එහිදි කරුණ සාකච්ඡා කෙරිණි.

a) තාරුණ්‍යය සහ පුමිතිරිභාවය (Youth and Gender)
b) තාරුණ්‍යය සතු කම්කරු අයිතීන් (Youth Labour Rights)
c) අවදානම්සහගත තරුණ කොටස් සමෝදායනය (Reintegration of Vulnerable)
d) දේශපාලනය තුළ තරුණ සහභාගීත්වය ( Youth Political Participation)
e) තරුණ ප්‍රජාව හා ස්වෙච්ඡාසේවය (Youth Volunteerism)

තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිලන්ති සුගතදාස මහත්මියගේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත සුබිනේ නැන්ඩි මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව වැඩසටහන පැවැත්විණි. රාජ්‍ය නිලධාරින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අනුබද්ධිත ආයතනවල ප්‍රධානීන්, තරුණ කටයුතු හා සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින්ද ඇතුළුව විවිධ තරුණ සංවිධාන නියෝජනය කරමින් තරුණ තරුණියන් 150 දෙනෙකු පමණ මෙම අවස්ථාවට සහභාගි වූහ.

නිලන්ති සුගතදාස මහත්මිය හා සුබිනේ නැන්ඩි මහතා විසින් පිළිගැනීමේ දේශන පැවැත්වූ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා විසින් 2015 ජාත්‍යන්තර තරුණ දිනය නිමිත්තෙන් නිකුත් කළ විශේෂ පණිවිඩය ද එම අවස්ථාවේදී රැස්ව සිටි පිරිස වෙත ඉදිරිපත් කරන ලදි. 2015 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ තරුණ නියෝජිත වැඩසටහන සඳහා ශ්‍රී ලංකා තරුණ නියෝජිතයින් ලෙස තේරී පත්වී ඇති නෞශල්‍යා රාජපක්ෂ මෙනවිය හා තිලිණ පණ්ඩුවාවල මහතා විසින් සාකච්ඡාවේ කටයුතු මෙහෙයවීම සිදු කළ අතර ජාතික තරුණ සේවා සභාවේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ආදිල් බාකිර් මාකර් මහතා විසින් ස්තූති කතාව සිදු කරන ලදි.

 

කතුහිමිකම © 2017 යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය Pooranee Inspirations

971053
යාවත්කාලින කලේ: 14-09-2015 07:16