“ මතින් තොර තාරුණ්‍යක් ” - මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන

අතිගරු ජනාධිපතිතුමා විසින් 2015 ජූලි මස 09 වන දින සිට අගෝස්තු මස 08 වන දින දක්වා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මාසය ප්‍රකාශ කොට ඇත. ඊට සමගාමීව ජාතික තරුණ ප්‍රතිපත්තියේද ඇතුළත් සෞඛ්‍යය හා යහපැවැත්ම (Health and Wellbeing) යන තේමාවට අනුව තරුණ ප්‍රජාවගේ “සෞඛ්‍යය හා යහපැවැත්ම” ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය, මත් වතුර හා දුම්වැටි භාවිතයෙන් වන හානිය පිළිබඳව වත්මන් තරුණ පරපුර දැනුවත් කිරීම සඳහා එක් දින වැඩමුළුවක් තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් 2015 ජූලි 23 වන දින පෙ.ව.8.30 සිට මහරගම ජාතික තරුණ සේවා සභාවේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.

මෙම වැඩමුළුවේ දේශකයින් වශයෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති, වෛද්‍ය තිලංග සමරසිංහ මහතා, වෛද්‍ය සජීව රණවීර මහතා හා රජරට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු මහතා සහභාගී වන ලදි. මෙහිදී, සතුට සපිරුණු සෞඛ්‍ය සම්පන්න දිවියකට මංපෙත් විවර කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ දේශනය, දුම්කොළ මත්ද්‍රව්‍ය හා මත්පැන්වලින් වන හානිය හා ඒවා භාවිතය අවම කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ දේශනය හා මත්පැනින් නිදහස් වීමෙන් ශාරීරික, මානසික හා ආර්ථික වශයෙන් ඇතිවන බලපෑම පිළිබඳ දැනුවත් කිරීමේ දේශනය වශයෙන් දේශණ 3ක් පවත්වන ලද අතර, මත්ද්‍රව්‍ය පානය කරන්නන් අන්‍යන්ගේ හාස්‍යයට ලක් වන ආකාරය දැක්වෙන “Wash room” නම් වූ කෙටි නාට්‍යය ද රඟ දක්වන ලදි.

මෙම වැඩමුළුව සඳහා තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය හා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල සහකාර අධ්‍යක්ෂවරුන්, උපදේශකවරුන්, ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිළධාරින් හා පුහුණුලාභීන් ඇතුළු 800 දෙනෙකු පමණ සහභාගී විය.

මේ සඳහා මූල්‍ය දායකත්වය ලබා දීමට කටයුතු කල එක්සත් ජාතින්ගේ ජනගහන අරමුදල නියෝජනය කරමින් එහි වැඩසටහන් විශ්ලේෂක නිශාන්ත වර්ණසූරිය මහතා සහභාගී වන ලදි.

කතුහිමිකම © 2017 යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය Pooranee Inspirations

933546
යාවත්කාලින කලේ: 14-09-2015 07:16